කතාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩ වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහූ දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වේ.

මේ, ‘මළගිය ඇත්තෝ’ හි එන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ වදන් පෙළකි.

ජීවිතය, සිතැඟි හා බලාපොරොත්තු තුල අතරමං වූ පෘතග්ජන කවරෙකු වුව ද, යම් විටෙක මරණය පැතීම සාධාරණ යැ යි මට සිතේ. මන්ද යත්; රූප පෙට්ටියක මවා පාන සුන්දර ලෝකයට ඔබ්බෙන් වූ සැබෑ දිවිය, රෝස මල් යහනාවක් වන්නේ ඉතා අතලොස්සක් සඳහා පමණි. ගෙන්දගම් පොළොව මත ගෙවෙන ජීවිතය සුර පුරයක් නොවේ. බොහෝ කතන්දර තුළ වූ කඳුළු වැල් අතරින් පතර, සිනහ අහුරක් දකිනුයේ එහෙමත් වෙලාවක ය. සෑම කතාවක ම අවසානය සුඛාන්තයක් ද නොවේ. ඉදින්, මරණය යනු සැනසුමකට ඇරයුමක් නොවේ ද…

නමුත්, සරච්චන්ද්‍රයන් නිවැරදි ය. මරණය යනු ඉල්ලීමක් හෝ කැඳවීමක් නොවේ. එම තීරණය සොබාදහම සතු වූවකි. ඊට එරෙහි වන්නන් ජීවිතය දිනූවන් නොවෙති. ඔවුහූ පළා ගියෝහූ වෙති.

ජීවිතය යනු මෙළෙස අතහැර දැමීමට හෝ පළා යාමට තරම් නොවූ, වටිනා දෙයකි. ගෙවී යන තත්පරය වුව ද නැවත ලබා ගැනීමක් නැත. ඉතින් පසුතැවීමෙන් පළක් නොවන කළ, ජීවිතය මග හැරීම පිළිතුරක් නොවේ.

ආශ්වාස කිරීම හා ප්‍රාශ්වාස කිරීම ට වඩා දෙයක් ඔබේ ජීවිතය තුළ තිබිය යුතු ය. ඇතැම් විටෙක, ඔබ ඉදිරියේ ඇති යතාර්ථය පිළිගැනීම අසීරු තීරණයක් විය හැකිය. නමුත්, අතීතයේ රුදුරු මතක මෘගයින් වර්තමානයට කැඳවාගෙන ඔවුනට සත්කාර කරන අතරතුර, තනිව විඳවීමේ තීරණය ද ඔබ සතු වූවක් ම වේ. එම බිහිසුණු සිහින වලින් මිදී නිදහස් වූත්, ප්‍රීතිමත් වූත් ජීවිතයක් සඳහා ඔබට ඇත්තේ එක් තීරණයක දුර පමණි. ඉතින්, තවත් බලා සිටීමට හේතු කවරේ ද?

අද දින හිරු නැගුණු අයුරු ඔබට මතක ද? එය ඊයේ දින වඩා වෙනස් බව ඔබ දුටුවා ද? ඔබේ ඇස් මානයේ තවත් මල් පොහොට්ටුවක් පිබිදී ඇතුවා විය හැකිය. ඊයේ තිබුණු මල් කැකුලක් අද පරවී බිමට වැටී ඇතුවා විය හැක. නමුත්, හෙට එම මල් ඉත්ත ම නැති විය හැක. එසේත් නැතිනම්, තවත් මල් කැකුලක් පිපෙනු දැකීමට හෙට, ඔබ නැති විය හැක.

ඔබේත් මගේත් කාලය සීමිත ය. වාද විවාද කිරීමට, තරහ වී වෙන් වී සිටීමට, එකිනෙකාට වෛර කිරීමට අපට කාලයක් නැත. ඔබට ලැබෙන අවසන් අවස්ථාව අද විය හැක. හෙට විය හැක. තවත් වසර දහයකින් විය හැක. නමුත්, තව වසර දහයක් ඇති බව සිතමින් කටයුතු කර හෙට නික්ම යන්නට යෙදුණහොත්, එම හිස් තැන පිරවීමට නැවත පැමිණීමක් නැත.

ජීවිතය යනු ත්‍යාගයකි. මේ ගෙවෙනුයේ එහි හොඳම අවධිය යි. ඔබ, ඔබේ ජීවිතය ට ආදරය කිරීමට පටන් ගත් විට, ජීවිතය පෙරළා ඔබට ආදරය කරනු ඇත. අතීතයේ මතක රැහැන් වලින් මිදී ඔබේ සිහින හඹා යාමට එඩිතර වන්න. සතුට හා සිනහව ඔබ සමඟ රැඳෙනු ඇත.

ඔබට සුබ ගමන්…

Leave a comment